රුවන්වැලි මහා සෑ රදුන්



ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිකර වන ලද පුණ්‍ය භූමිය මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුරජාණන් වහන්සේලා විසින් ම සේවනය කරන ලද සමාපත්ති සුවයෙන් වැඩ සිටිමින් සිවු බුදුවරයන් වහන්සේලා විසින් ම පූජනීයත්වයට පත් කරන ලද පුණ්‍ය භූමියකි. 

රුවන්වැලි මහා සෑය ඉදිකරන පුණ්‍ය භූමිය පිළිබඳව අනුබුදු මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමාට සඳහන් කළ බව දැක්වේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වු සිවු බුදුරජාණන් වහන්සේලා විසින්ම සේවනය කරන ලද මේ උතුම් පුණ්‍ය භුමිය මත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේ නිධන් කරමින් එකසිය විසි රියන් උස ස්වර්ණමාලී නාමයෙන් ප්‍රකට වන පූජනීය චෛත්‍යයක් මේ පුණ්‍ය භූමිය මත ඉදිවේවායි යනුවෙන් පෙන්වා වදාළහ. මිහිඳු මාහිමියන් දේශනා කළ ඒ විස්තරය අසා සිටි දේවානම්පියතිස්ස රජතුමාට එම චෛත්‍යය ඉදිකරවීමට ආශාවක් ඇතිවිය. මහරජ ඔබ විසින් කළ යුතු බොහෝ පින්කම් ඇති බවත් ඒ ස්තූපය ඉදිකිරීම පිණිස පෙරුම් පුරාගෙන පැමිණෙන මහා පුණ්‍යවන්තයෙකු අනාගතයේ ඔබේ මුණුබුරෙක් ලෙස ඉපිද ඒ මහා ස්තූපය කරවනවා යැයි දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මාහිමියන් විසින් දේශනා කළහ. ඉන් සතුටට පත් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි සියලු විස්තර සෙල් ටැඹක කරවා චෛත්‍යය ඉදිවන පුණ්‍ය භූමිය මත ඒ සෙල් ටැඹ පිහිටුවන ලදී. එම විස්තරය රන්පත් තීරු කීපයක ලියා කරඬුවක බහා අනාගතයෙහි දුටුගැමුණු රජතුමන්හට ඒ විස්තරය සොයා චෛත්‍යය ඉදිකරවීමේ පහසුව සඳහා රජමැදුරේ තැන්පත් කළේ ය.
 
දුටුගැමුණු රජතුමන් සෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියවන්නට ලැබුණේය. එහි සඳහන් වුයේ  රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිඛෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍යය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.
එකල්හී ප්‍රීතිප්‍රමෝදයෙන් යුතු රජතුමා එදින රාත්‍රීයේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. ’මම් වනාහී ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ` එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදු වලින් නොපෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි සිතමින් සිටියේ ය.
එකල්හී මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව ඒ කරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථුපඝෝෂාවක් පැන නැංගේ ය. 
 
 
ඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීම

පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට, 
යොදුනක් උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.
යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.

දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී.

එක් පුන් පොහෝදිනයක, 
දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.

• භූමිය සමතලා කරන ලදී.
• එය රියන් හතක ගැඹුරට සාරන ලදී.
• එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.
• ගල් මිටියෙන් කඩන ලදී.
• ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.
• එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද, තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද, සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.
• ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.
• එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.
රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. 

ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. 
මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය. ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ. නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී. ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. 

අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.
 

ශාරීරික ධාතු

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී.  රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය. සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය. 
ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.
"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය. ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.
 

ස්ථූපයට ආශීර්වාද කිරීම

සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය. ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය. ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.
ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී. ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ. එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය. හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය. දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය. 

දුටුගැමුණු මහ රජතුමන් මහා සෑය ඉදිකරවා ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරවූ අතර චෛත්‍යයේ සියලු කොටස් නිමවීමට මත්තෙන් සිය සොයුරු තිස්ස කුමරු කැඳවා රාජ්‍ය පවරා මා මිය යන්නට පෙර මේ මහා සෑයෙහි සියලු කටයුතු නිමවා දකින්නට සලසන්නැයි ඉල්ලීමක් කළේය.  එතුමන්ගේ සිත සතුටු කිරීමට මිය යන්නට පෙර උපක්‍රමයකින් හෝ චෛත්‍යයේ කටයුතු අවසන්ව ඇති බව සකස් කරවා රජු වෙත ඒ බව දැන්වීය. එවිට රජතුමා මරණාසන්නව පසුවන බව දිවැසින් දුටු ලක්ෂ ගණන් මහ රහතන් වහන්සේලා සිදුකළ පින්දහම් පිළිබඳව ද සිහිපත් කරවමින් දුටුගැමුණු රජතුමාගේ සිත පින්දහම් තුළ පිහිටුවීය. අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී,  විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය. දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය. 

සද්ධාතිස්ස රජතුමා සහ භාතිය රජතුමා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් රුවන්වැලි මහ සෑයට පුද පුජා පැවැත්වූහ. හෙළ රජවරුන් අප්‍රමාණ ගෞරවයෙන් රුවන්වැලිමහ සෑ රදුන් වන්දනාමාන කළේය. (ක්‍රි.පු.137 -119) ලජ්ජිතිස්ස රජු චෛත්‍ය වේදිකාවේ හුණුගල් ආවරණ සැකසිය, බල්ලාට නාගරජු දවස (ක්‍රි.පු.109 - 1003) චෛත්‍යයේ වැලිමළුව ප්‍රතිසංස්කරණය කරවා ඒ වටා ඇත් පවුර කරවිය. භාතිකාභය රජු (ක්‍රි.පු.22- ක්‍රි.ව. 7) ථුපයේ සේයාවන් ශෛලමය සේයාවන් ලෙස සැකසිය. මහාදාඨක මහානාග (ක්‍රි.ව.07- 09) රජු වැලිමළුව පුළුල් කරවීය. 
අමරණඩගාමිනි රජු (ක්‍රි.ව.19 - 22) චෛත්‍ය වේදිකා ප්‍රතිසංස්කරණය කරවිය. එකක් මත එකක් සිටින සේ (සංචි ථුපයේ සේ) චෛත්‍යයට ඡුතු 2 ක් නම් කරවුයේ ද මේ රජතුමා විසිනි. 
පළමු සිරිනාග රජු (ක්‍රි .ව.189 - 209) ඡුත‍්‍ර පිළිසකර කරවා රන් ආලේප කරවිය. පළමු සංසතිස්ස රජතුමා (ක්‍රි.ව.247-249) එම ජත‍්‍ර රනින් ආලේප කරවා පළිඟු මුදුද හවිකරවිය, ථුපයේ කැඩි බිඳී ගිය තැන් හුණු බදාමයෙන් පිළිසකර කරවීය. හරතරැස් කොටුවේ සිවු දිග අගනා මාණික්‍ය හතරක්ද සවි කරවිය. ප්‍රකාරයට සම්බන්ධ දොරටුවල තොරණ කරවීම මිත්තසේන රජු (ක්‍රි.ව. 426 - 429) විසින් සිදු කර තිබේ. හත්තිවේදිය ඉදිකළේ (ක්‍රි.ව.571- 604) කාලයේ රජකළ මහානාග රජතුමා විසිනි. එතුමා සිතුවම්ද අළුත්වැඩි හා කළ බව කියැවේ. ඒ ඇත් පවුරේ සායම් ආලේප කිරිමද නැතිනම් වෙනත් තැනෙක සිතුවම් ඇඳීම දැයි අපැහැදිලිය චෛත්‍යයට රන් ආලේපිත ශෛලමය ජත‍්‍රයක් එක්වෙන් (ක්‍රි .ව. 571 - 604) කාලයේ රජකළ පළමු අගබෝ රජ දවසය. තෙවන මුගලන් රජු (ක්‍රි.ව.614 - 619) ථුපය සපුරාම පිළිසකර කරවිය. මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1196) චෛත්‍ය මළුවේ කුඩා ශෛලමය ථුපයක් කරවිය. නිශ්ශංකමල්ල රජතුමා විසින් රුවන්මැලි සෑ මළුවේ කළ ශෛලමය කුඩා ස්ථූපය ද මහාථූපයේම හැඩයට කරවා ඇතැයි පැවසෙනවා. එය අදත් අපට දැකගත හැකියි.

චෝල හමුදා සිංහලයේ ගෞරවාන්විත අනුරාධපුර යුගය නිමා කළේය. ඔවුහු අනුරාධපුර නගරය තිරශ්චීන ලෙස කොල්ල කෑහ. ඉන් අනතුරුව සොලීහු රජරට අමුසොහොනක් කළහ. මේ නිර්දය කොල්ලයෙන් අනතුරුව බිඳ දැමුණු දාගැබ් වෙහෙර විහාර සොහොන් සේ පාළුවට ගියේය. වාරි කර්මාන්ත නටබුන්ව ගියේය. අනුරාධපුර අත්හළ නරගරයක් බවට පත්විය.

නූතනය
 
ටෙනන්ට් මුලින්ම රුවන්මැලි සෑය දකින්නේ 1830 දී ය. එවිට ඒ නටබුන් ගොඩැල්ලේ උස අඩි 180 කි. එහෙත් ඔහු සිය කෘතිය කරන 1850 වනවිට අඩි තිහක් පමණ දාගැබ ගරා වැටී තිබූ බවත් එහි ඒ වන විට උස අඩි 150 ක් බවත් ලියා තැබුවේය. මේ නටබුන් සෑය මුල්කරගෙන 1853 දී සැලකිය යුතු පින්කමක් පැවැත්විනි. දාගැබ් ගර්භය බැඳ හුනු පිරියමෙහි අපොහොසත් උත්තුංග ප්‍රාර්ථනා සහිත දුගී බැතිමත්හු නටබුන් ගොඩැල්ල සුදු රෙදිවලින් ආවරණය කළහ. අනතුරුව ඒ මත තඹයෙන් කළ කොතක් තැන්පත් කළහ. වර්ෂ 1869 දී රුවන්මැලි සෑය අසල විහාරයක් ඉදි විය. රුවන්මැලි සෑය යළි ගොඩනැන්වීමේ මහා බලාපොරොත්තුව පොදු ජන සමාජය තුළ පැවැති ආකාරය මෙවැනි පුණ්‍යකර්මවලින් පෙනිණි.

වර්ෂ 1872 වන විටත් රුවන්මැලි මහාසෑය පුංචි මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් පමණක් පහන්වන උස් කන්දක් සහිත වන දුර්ගයකි. ඒ කඳුගැටය වසාගත් අභිමානවත් දාගැබක විත්තිය ශ්‍රද්ධා සම්පන්න බැතිමත් සිත්වල ඇඳී තිබිණි. ඒ සිහිනය බෞද්ධ ලෝකය වෙත සැබෑ කර දීම යථාර්ථවත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළේ එවකට විසිතුන් හැවිරිදි වියෙහි පසුවූ නාරංවිට සුමනසාර නම් හිමිනමකි. සුමනසාර හිමියන්ගේ අප්‍රකට තොරතුරු පිළිබඳ ලියැවුණු ලිපියක් රුවන්මැලි සෑයේ කොත් නිරාවරණ උත්සවය වෙනුවෙන් වර්ෂ 1840 ජූනි මස 18 දා දිනමිණ පුවත්පතේ පළවූයේය. ඒ ලිපිය අනුව නාරංවිට සුමනසාර හිමියන්ගේ මුල් ගම මහනුවර ප්‍රදේශයේය. උන්වහන්සේ පැවිදි වන්නේ රද්දොළුව සුබෝධාරාමයේය. මුලින්ම රද්දොළුවට එන්නේ ගැල්සාත්තුවක් පිටුපස පැමිණි නාඳුනන දරුවෙකු ලෙසය. ගැල් මගින් ගොස් කෝපි එකතු කර අලෙවි කිරීම වෘත්තිය කරගත් මීගමුව වෑත්තෑව ප්‍රදේශයේ මනංචි රේන්දරාල නමැත්තා සමඟ මේ කුඩා දරුවා මීගමුවට පැමිණි පසු ඔහුව ඇති දැඩි කරගන්නේ රද්දොළුවේ ලංසියාවාඩියේ ජුසේ ආරච්චි නැමැත්තෙකි.

කුඩා දරුවා අකුරු කරන්නට යන්නේ රද්දොළුවේ පන්සලටය. හේතු සම්පත් සහිත අංග ලක්ෂණ වී යැයි කියන ඔහුව නාරංවිට සුමනසාර නමින් පැවිදි කරගන්නේ රද්දොළුව සුබෝධාරාමාධිපතිව සිටි සෝමානන්ද හිමිය. නාරංවිට සුමනසාර හිමියෝ රාමඤ්ඤ නිකායික හිමිනමක් සේ පැවිදි දිවියට පිළිපන්හ.

හිතුවක් කරනු රිසි හැඩි දැඩි සිරුරක් සහිත මේ හිමියෝ ගමේ ගැටවුන් සමඟ සංචාරයන්හි නිරතවන්නාහු වර්ෂ 1872 දී අනුරාධපුරයට පැමිණියහ. මේ මහා සෑය ගරාවැටී ඇති ආකාරය උන්වහන්සේ දුටුවහ. පැමිණි පිරිස සමගම ගරාවැටුණු සෑයේ කටුකොහොල් ඇරීම ඇරඹු උන්වහන්සේගේ කටයුත්ත ලත් තැනම ලොප් වෙන්නට වැඩ යෙදිණි. එවකට අටස්ථානාධිපතිව වැඩ වාසය කළ කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන්ට සිද්ධිය වාර්තා වී තිබුණේ පිරිසක් රුවන්මැලිසෑයේ නිදන් හාරන බවටය. උන්වහන්සේ සුමනසාර හිමි ප්‍රමුඛ පිරිස තමන් ඉදිරියට පැමිණවූහ.
හෙළිවන පරිදි තරුණ හාමුදුරුවන්ගේ උත්සාහය රුවන්වැලිසෑය පිළිසකර කිරීමය. එහෙත් මේ තරුණ හාමුදුරුවන් රාමඤ්ඤ නිකායේය. දැන් ගැටලූවකි. රුවන්වැලි දාගැබ වනදහන ගිල ගත් පස් කන්දක් වී තිබූ බව සැබෑය. අභයගිරිය හා ජේතවනය දාගැබ් වරදවා හඳුනා ගන්නා තරමට අමතකව ගොස් තිබූ බව සැබෑය. ඒ සිද්ධස්ථානවල මිනිස් පුළුටක් නොවුණ බවත් සැබෑය. එහෙත් රුවන්මැලි සෑය ඇතුළු අටමස්ථානය අයත් වී තිබුණේ සියම් නිකායටය. මල්වත්ත මහ පන්සලටය. අටමස්ථානාධිපතිව වැඩ සිටියේ කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන් සුමනසාර හිමියන්ට කොන්දේසියක් ඉදිරිපත් කළහ. 

ඒ කොන්දේසිය මෙසේය. දාගැබත් අවට භූමියත් අයත් සියම් නිකායටය. එය වෙනත් නිකායක හිමි නමකට පැවරිය නොහැකිය. අස්ගිරිය මහ පන්සලට ගොස් සියම් නිකායේ පැවිදි වී උපසම්පදාව රැගෙන පැමිණියහොත් පමණක් රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණය නාරංවිට හාමුදුරුවන්ට භාර දිය හැකිය. නාරංවිට සුමනසාර හිමියෝ එම කොන්දේසිය පිළිගත්හ.
අනතුරුව උන්වහන්සේ උපවැදි වූහ. රුවන්මැලි මහා සෑය වෙනුවෙන් රාමඤ්ඤ මහා නිකාය අත්හලහ. වැඩ කටයුතු පසෙක තබා ගිහියකු සේ මල්වත්ත පන්සලට ගියහ. ගොස් එහි පැවිදිව උපසම්පදාව ලබාගත්හ. පැවිද්ද හා උපසම්පදාව ලද බවට වූ ලේඛනයක් සහිතව යළිත් අටමස්ථානාධිපති හිමියන් හමුවූහ. දැන් නාරංවිට සුමනසාර හිමියන් සියම් නිකායේ හිමි නමකි. රුවන්මැලි සෑය පිළිසකර කිරීමේ අවසරය හා ස්ථානයේ භාරකාරත්වය උන්වහන්සේට ලැබෙන්නේ ඉන් අනතුරුවය. සියම් නිකායේ ආශීර්වාද සහිතව 1873 දී සුමනසාර හිමියෝ රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කර්මාන්තය ආරම්භ කළහ. අතේ ශත පහක මුදලක් නැතිව උත්සාහය හා යහපත් ප්‍රාර්ථනාවන් පමණක් සහිතව කටයුතු ඇරඹූහ. මහා ජන ප්‍රසාදයක් එතුමන් වටා ගොඩනැගිනි. ආධාර ගලා ආවේය.

වර්ෂ 1873 වනවිට පස් ගොඩැල්ලක්ව පැවැතුණු මේ මහ ස්තූපය පියවි ඇසින් දුටු එසමයෙහි මෙරට ආණ්ඩුකාර ධූරය ඉසිලූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි, 1876 පෙබරවාරි 15 වන දින එංගලන්ත ආණ්ඩුවට ලියවිල්ලක් ඉදිරිපත් කලේය.

‘රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි… නාරන්විට සුමනසාර උන්නාන්සේ විසින් කරවා ඇති වැඩ ප්‍රමාණය දැක අතිශයින් පුදුම වීමි… මේ දැගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස් ශිල්ප ශාස්ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක් මෙන් ද, ලක්දිව රාජ්‍යාභිෂේකය ලත් ඉතා බලසම්පන්න ශ්‍රේෂ්ඨ රජතුමා සිහිපත්වීමේ ලකුණක් මෙන් ද පවතී’, යයි එහි සඳහන්ව ඇත.

උන්වහන්සේ 1902 දී වන්දනාකරුවන්ගෙන් ලද මුදලක් යොදවා චෛත්‍යයේ ධාතු ගර්භය අඩි 40ක් උසට බැඳවීමට සමත් විය. පසුව 1912 දී මේ බැඳි කොටස කඩා වැටී ඇත. ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමිගේ සභාපතිත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවා ගෙන නැවත වරක් කටයුතු ආරම්භ කිරීමට සුමනසාර හාමුදුරුවෝ කටයුතු කර ඇත. 

චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් බෞද්ධයන් දැනුවත් කිරීම සිරි අනුරපුර පුවත නම් පුවත්පත මගිනි සිදුකර ඇත. අයවැය වාර්තා සරසවි සඳරැස් පත්‍රයේ  පල කරන ලදි. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයිමට ශ්‍රි ලංකාවේ ජිනසේන සමාගම ජල යන්ත්‍රයක් නිමවන ලදි. 

නාරංවිට සුමනසාර හිමියන් විසින් පිහිටවූ රත්නමාලී චෛත්‍ය සංවර්ධන සමිතිය විසින් වසර ගණනාවක් පුරා කළ කටයුතු වල වැදගත්ම අවස්ථාව වූයේ 1940 ජූනි මස 17 වන දින, පොසොන් පොහොය දා ස්තූපයට කොත පැලැන්ද වීමය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලකගේ ප්‍රධානත්වයෙන් ඒ උත්සවය පැවැත්විය. බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කිරීම චෛත්‍ය ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ ලෙස කටයුතු කල පුද්ගලයාගේ අතිනි. 

කොතේ පමණක් බර ටොන් 6ක්. බුරුමයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු අඩියක් උසැති පළිඟුවක් කොත මුදුනේ චූඩා මාණික්‍යය ලෙස  සවිකර ඇත. ඒ පළිඟුව සවිකර ඇත්තේ රන් ආධාරකයක් මතය. ඒ ආධාරකය සැරසීමට රත්තරන් කිලෝ 5.5ක් සහ රිදී කිලෝ 69ක් යොදාගෙන ඇත. එහි සවිකර තිබෙන මැණික් ගල් සංඛ්‍යාව 4796කි. 

ප්‍රතිසංස්කරණ කටයුතුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදහත් වන්නේ පසුකාලීනවය. ඔවුන් චෛත්‍ය වර්ධන සමිතිය සමඟ හවුල්ව කටයුතු කළහ. චෛත්‍ය වර්ධන සමිතයේ මුලික අරමුණ වුයේ ආගමික පදනමක පිහිටා චෛත්‍ය ඉදිකිරීමය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වුයේ පුරා විද්‍යා ස්මාරකයක් වශයෙන් එම පදනමෙහි පිහිටා චෛත්‍ය සංරක්ෂණ කිරිමය. මේ නිසා ප්‍රතිසංස්කරණ කටයුතුවල යම් යම් ගැටළු මතුවී ඇත. චෛත්‍ය වර්ධණ සමිතිය මගින් කළ ප්‍රතිසංස්කරණවලදි තෙවැනි ජෙසාව මත තිබු හස්තිවේදිය ඉවත් කර ඇත. ස්මිතර් මහාතට අනුව ජෙසාව මත ශෛලමය හස්ත හිස් 133 ක් තිබි ඇත. ඒවා අතර මිටර 3 බැගින් පරතරය තිබි ඇත.
අවසානයේ සියල්ලන්ගේ කැපවීම මත වර්තමානයේ මහා සෑ රදුන් අභිමානවත්ව රජරට පුරයෙන් මුළු විශ්වයම ආලෝකමත් කරමින් විරාජමානව වැඩ හිදියි.

මහා සෑ රදුන් උසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වේ. ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.) 

රුවන්වැලි මහා සෑ රදුන් හඳුන්වන වෙනත් නම්,
 
☆මහාථූප (පාලි භාෂාවෙන්)
☆මහා ස්ථූපය
☆මහා ථූපය
☆මහා සෑය
☆රුවන්වැලි මහා සෑය
☆රුවන්මැලි මහා සෑය
☆රත්නමාලි මහා සෑය
☆රතනමාලි මහා සෑය
☆හේමමාලි මහා සෑය
☆අසදෘශ මහා සෑය
☆ස්වර්ණමාලි මහා සෑය

අපට තිබෙන මහා සම්පතක් වන මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට පිහිට පිළිසරණ සැලසේවා.

රුවන්වැලි සෑ වන්දනා ගාථාව
 
සයිංසු යස්මිං සුගතස්ස ධාතුං
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණමාලීති පතීතනාමං
වන්දාමහං ථූපවරං මහග්ගං
 
මෙවන් අසිරිමත් පූජනීය ස්ථානයක් වන
මහාසෑ පුදබිම අවබෝධයෙන් වන්දනා කරත්වා.
මතු පරපුරට රැකුමට සිත් පහල වේවා.

තෙරුවන් සරණයි!

Post a Comment

Previous Post Next Post