පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තු වන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහි වත සම්පුර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය.
ඔබ ගිහි වත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදි වීමට ඉක්මන් නොවන්න. ගිහි වතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය භාවය නිසා විවිධත්වයක් ඇතිවීම ස්වභාවිකය. අප පුදුම විය යුත්තේ එසේ නොවුණහොත්ය. අනුන්ගේ වැරදි ඔබ අතහරින්න. ඔබ ඔබේ අරමුණ කරා යන්න. පන්සලේදී හැමෝගේම සේවකයා දාසයා ඔබ වන්න. නිදහසේ ජනතාවට වඳින්න පුදන්න සිල් පිරිසට සිව්පසය සපයන්න ඔබ මැදිහත් වන්න. අනුන්ගේ පැමිණීම දායකත්වය ඔබ නොසොයන්න. ඔබේ අරමුණ උදෙසා වෙහෙසවී සියල්ල කරන්න.
හැමගේම සිත් තුළ ඇතිවන කරුණාව මෛත්‍රීයෙන් ඔබ ඔබේ අධ්‍යාත්මික ශක්තිය ලෝකයට හොරා වැඩි දියුණු කරන්න. ඔබ සිදුකරන සෑම ක්‍රියාවකම අනිත්‍යය දකින්න. ඔබ මැදිහත්ව කළද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සැවොම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්තිමත් වන්න. දායකයන් උදෙසා බෝධි පූජා, පෙරහැර, කඨින පින්කම්, දාන මාන සංවිධානය කොට ඔබ ඒවායේ අනිත්‍ය පමණක් දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වන්න. අනුන්ගේ කුස පුරවා ඔබ නිරාහාරව ඉන්න. ඒ බව අන් අයට නොහඟවන්න. වයෝවෘධ ස්වාමීන්වහන්සේලා සිටී නම් උන්වහන්සේලාට උපස්ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න.
සමාජ සේවයට කැපවී අනුන් සතුටුකොට අනුනට සේවයක් කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ලාභය කීර්තිය ප්‍රධානත්වය නොව, තම ඉලක්කය නිවන් මගය කියා අරමුණ සිහි කරන්න. ලෝකයට කොතෙක් මහන්සි වී වැඩ කළද පොඩ්ඩ වැරදුණ විට ලැඛෙන්නේ ගල්, මුල්, දොස්, පරොස් බව ඔබ දකින්න. විවේචන, අසත්පුරුෂකම්, නොසලකා හැරීම්, ලෝකයේ ස්වභාවය බව දකින්න. අප පුදුමවිය යුත්තේ ඒවා නොමැතිනම් බව සිතන්න. අනුන්ට සේවය කරමින් අනුන්ව සතුටු කරමින්, ගුණ අගුණ අසමින් අනිත්‍යයම දකින්න. ලෝකයේ ස්වභාවය මෙනෙහි කරමින් ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබේ අධ්‍යාත්මය සංවර්ධනය කරගන්න.
රෝගීන්ට උපස්ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක් යනු දේවදූතයෙක් බව දකින්න. රෝගියාගේ කයේ ස්වභාවය, ඔහු විඳින වේදනාවේ ස්වභාවය, රෝගයේ ස්වභාවය ඔබටද පොදු බව සිතන්න. ඔබේ ස්වභාවයද එයම බව දකින්න. ඔහුට උපස්ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ඔබ මාස දෙක තුනකට වරක් මහ රෝහලට, ළමා රෝහලට, පිළිකා රෝහලට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්ටුවල ඇවිදින්න. ඔබ රෝගීන්ගේ දුක ඛෙදා ගැනීමට නොයන්න. වේදනාවෙන් ලතෝනි දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම හඬ බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස් ගැලවී ගිය, පියයුරු ඉවත් කළ රෝගී පින්වතුන් ඔබ කමටහන් කරගන්න. හින්දි සිනමාවේ සුරූපීම ශිල්පිනියටද ශිල්පියාටද මෙම ස්වභාවය පොදු බව දකින්න.
ඔබේ සිතට නිතර රාග සිත් ඇතිවේ නම් ඔබ කාන්තා රෝහලක ගැබිණි වාට්ටුවට ලෙඩුන් බලන වේලාවට යන්න. දරු ප්‍රසූතියට සූදානම් වු සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම් රටා, ඒ අයගේ ස්වභාවය මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් දකින්න. එය ඔබගේ රාග සිත මරා දමනු ඇත.
පාරිභෝගික විසිතුරු ලෝකයේ ඔබ මුලා කරන, රස නහර පිනායන පාරිභෝගික ද්‍රව්‍ය පිරීගත් සුපිරි වෙළඳ සංකීර්ණවල සෑම ආහාරයක්ම මේ කය පෝෂණය කිරීම සඳහාය යන්න දකින්න. එහිම රාක්කයක ඇති විසිතුරු දවටනයක බහාලු සනීපාරකෂක තුවා ඇත්තේ කුමන අපද්‍රව්‍යයක් සඳහා දැයි නුවණින් දකින්න. මළු පුරවා කරත්තය තල්ලූකොට උජාරුවට බඩු ගෙන ගියද අප සැවොම පෝෂණය කරන්නේ අපවිත්‍ර ශරීරයක් බව දකින්න. හැම දෙයක්ම කමටහන් කරගැනීමට ඔබ දකෂවන්න.
ඔබ බසයක යනවා නම් ඔබ වාඩි ගත් අසුන සුදුසු ඕනෑම අයකු වෙනුවෙන් දීමට මැලි නොවන්න. ඔබ කතරගමට යෑමට කොළඹින් බසයක නැග පානදුරට ලඟා වෙද්දී, ඔබගේ අසුන සුදුසු යමෙකුට ලබාදීමට අවශ්‍ය වුවහොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යෑමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ පහසුව ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ උවමනාව උදෙසා කැප කරන්න. අන් අය ඔබට අවඥාවෙන් සිනාසුනිද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ඔබේ නිවන් ම`ග උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබාගන්න. අනුන්ව ආමිසයෙහි යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකය මුලාකොට ඔබ ලෝකයෙන් එතෙර වීමට මග හදාගන්න.
නිවන් මග සොයා යෑම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ලන් අතහැර, සියල්ලක්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙරවන්න.
ඔබ සුවසේ ලෝකයෙන් එතෙර වීමට දකෂ වුවහොත්, ලෝකයාගේම යහපත උදෙසා ලෝකයාගේම පරාර්ථය උදෙසා ඔබට මග පෙන්විය හැකිය. එම පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න.
ඉහත ක්‍රියාකාරකම් තුළින් ඔබ ලබන සතුට ආරකෂක දෙවියන්ටද අනුමෝදන් කරන්න. ඔබ යන ගමනේදී බාධක මගහැර ආරකෂාව සලසා ගැනීමට නොපෙනෙන බලවේගද සතුටුකොට, ඒ අයගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට උත්සාහගන්න. අත්නොහල යුතු දේවල් අතහැරීමට අවශ්‍ය වේලාව පැමිණෙන තෙක් ප්‍රමාද කරන්න. ඉක්මන් නොවන්න වගබලා ගන්න. ඔබ හැමවිටම ඔබේ සිතේ අවිචාරවත් බව විචාරයට ලක් කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහළින් ඇති ප්‍රඥාවේ ඇසින් නිරතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්න. ඇති වෙමින් නැති වෙන සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න.
ඔබ තවමත් ගිහි පින්වතෙකි. ඔබේ ඉන්ද්‍රියන් කැමති හැම දෙයක්ම අත්දැකීමෙන් විඳ, රස බලා එහි අනිත්‍යය දකින්න. ඔබට ඒ නිදහස තවම ඇත. අත් නොවිඳ, අත් නොදැක අනිත්‍යය දකින්නට යෑමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතුවිය හැකිය. ඔබ වැඩියෙන් ආශා කරන, කැමති දෙයක් වෙතොත්, නැවත නැවත ඒ දෙය රස විඳ ඒ කැමැත්තෙන් මිදෙන්න. කැමති දෙය අත්දකිමින් අත් විඳිමින්, අවබෝධය ලබමින්, අනිත්‍යය දකිමින්, අත්හැරීමට පුරුදුවෙමින් 'ගිහි වත' සම්පූර්ණ කොට නිවන් මග වඩන්නට සසුන් කෙතට පියනගන්න.
ගිහි ජීවිතය තුළ ඔබ සිත පමණක් පැවිදි කරගන්න. ඔබ පුරුදු කරන්න, අවම සම්පත් සමග හුදෙකලාව ගත කරන්න. ඔබ පරීකෂාකර බලන්න, පාවහන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදින්න හැකිද කියා. ඇඳුම් කට්ටල දෙකකින් ජීවත් වන්නට පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක් ඔබට ප්‍රමාණවත්ද කියා. ඔබ කැමතිම, ආසම කරන රූපයක් ඔබට අතහරින්න පුළුවන්ද කියා. ඥාතීන්, ගේදොර අතහැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට ඔබට තනිවම මුහුණදීමට ශක්තිය තිඛෙනවාද කියා. පිළිතුර 'ඔව්' නම් පැවිද්දට දැන් ඔබ සැබෑම සුදුස්සෙක්. ඉහත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබ්බට ගොස් ජීවිතාවබෝධයෙන් මේ ආත්ම භාවයේදීම නිවීම උදෙසා වීර්යය වඩන අධිෂ්ඨාන සහගතව නිවන් මග වැඩීමට හැකි පින්වතතුන්ට පමණක් බව හොඳින් සිහියේ තබාගන්න. ශාසනය ආරකෂා කරගැනීමට, මනුෂ්‍ය- දිව්‍ය- බ්‍රහ්ම සුගති ප්‍රාර්ථනා කරන, රට ජාතිය ආගම ආරකෂාකිරීමට බලාපොරොත්තුව පැවිදිවන පින්වතුන්ට ඉහත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. මන්ද, එම උතුමන් දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරන, නොදැනුවත්භාවය නිසා ඉහත අරමුණු තුළ සැප ඇතැයි කියනා බලාපොරොත්තුව තබාගෙන සිටින නිසාය. එවැනි උතුමන් ආරකෂා කර දෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින්, දකෂයා ලෝකයෙන් එතෙර වීමට උත්සහවන්ත විය යුතුය. ඔබ ලෝකයෙන් එතෙර වීමට දකෂ වුවහොත් එය ශාසනය ආරකෂා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද මහත්ඵල මහානිසංශ කුසලයක් වනවා ඒකාන්තය.
උපුටාගැණීමකි
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

Post a Comment