ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න - මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 1 වන ලිපිය

 
    මේ මුළු ලෝක ධාතුව තුළම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිඛෙන්නේ කොතැනද කියා ඇසුවොත්, දෙවරක් නොසිතා එම ප්‍රශ්නයට දියහැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදුම සුදු පිරුවටයක් සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳී. නැවත මැකී යයි. රහතන් වහන්සේ අඳින චිත්‍ර, රැස් කරන්නේවත් ගොඩගසන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙලෙස් තීන්තය. එහි ඝණ බවක්, ගොරෝසු බවක්, ඇලීමක්, ගැටීමක්, උපේක‍ෂාවක් නොමැත. ඒවා නිවුණ තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නැමැති පිරුවටය සෑමවිටම නොකිලිටිය. කොතැනකදීවත් සත්වයෙක් පුද්ගලයෙක් නොදකින ඒ සිත නිරතුරුවම අනිත්‍ය දැක මැකී යන රූපම අඳී. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලූය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්‍රතිබිම්බයයි.

 

    ගිහි පැවිදි නිවන් මඟ වඩන ඔබද, මමද සොයා යන්නේ ඔන්න ඔය ස්වභාවයේ නිදහසයි. ජීවිතයෙන් සියලූ බැඳීම් හිස් කළ තැන.... එතැන නිදහසයි. පැවිදිවීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත්ව එන්නේ එතෙක් තමා රැස් කළ, අයිති කරගත් සියලූ ලෞකික සම්පත් අයින්කර දමාය. ඔබ එසේ සියල්ල අයින් කර දමා එන්නේ ඇයි? අයින් කර දමා පැමිණි සියල්ල අතහැරීම සඳහාය.

 

    හොඳින් සිතන්න. අයින් කිරීමත්, අතහැරීමත් අහසයි පොළොවයි වගේ පරතරය ඇති දෙකකි. පැවිදි වීමෙන් පසු ඔබ කළ යුත්තේ අයින් කළ දේවල් අත්හැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය. මොනවද ඔබ අයින් කොට පැමිණි දේවල්....

 

    දෙමාපියන්, ඥාතීන්, ව්‍යාපාර, ඉඩකඩම්, සමාජ තත්ත්වය.. කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියන් හයට ඇලෙන දේවල් අයින් කොට දමා පැමිණ ඇත්තේ ඒ සියල්ල අතහැරීම සඳහාය. දැන් අරමුණ පැහැදිලිය. එසේ නම් ඔබ සොයා යා යුත්තේ අතහැරීම පුහුණු වීමට සුදුසු, රැස්කිරීම නොකරන ස්ථානයකි. මොනවා රැස් නොකරන ස්ථානයක්ද...

 

කෙලෙස් රැස් නොකරන ස්ථානයකි.

සුවසේ සිත වැඩෙන ස්ථානයකි.

 

    එවැනි ආරණ්‍යයක්, ශුන්‍යාගාරයක් නොමැති නම් නිවන් මඟ වඩන ගුරුවරයෙකුගේ ඇසුර ලබා ගනිමින් හුදෙකලා කුටියකට ඔබ යා යුතුය. 

 

    ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම ලෝක තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටුවුණ ස්ථාන මඟහරින්න. ඉහත ස්වභාවයන් ශාසනය රැකීමට, සුගතිගාමී නැවත උපතක් ලැබීමට ඔබට උපකාරී වනවා විනා, මේ ආත්මභාවයේදී නිවීම උදෙසා උපකාරී නොවේ. ඉහත ස්වභාවයන් ඔබ ස්පර්ශ කිරීමෙන් නිවන් මඟ භව මඟක් බවට පත්වීමට පුළුවන. අරමුණ ශක්තිමත් වුවද ඔබ තවම පැවිද්දට නවකයෙක් වීමටද පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යෑම තවමත් ඔබගේ ස්වභාවය වීමට පුළුවන. ඔබ ගිහිගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමඟ යෑමට නොව, උඩුගං බලා යෑමටය. ඔබ අදක‍ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස් විදෙස් ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පත්වීමට සිදුවනු ඇත. ඔබ කිසිවක් අල්ලා නොගන්න. අල්ලගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අත හරින්න පුරුදු කරන්න. ඔබ වයසින්, ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයෙකු ලෙස අරමුණක් ඇතිව ශාසනයට පැමිණි කෙනෙක් බව සිතන්න. එහෙත් තමා ගැන අධි තක්සේරුවකට නොඑන්න වග බලාගන්න. 

 

    සාමණේර සීලය, උපසම්පදා සීලය ඉක්මවාගිය සීලයක් මේ ශාසනය තුළ තිඛෙන බව දකින්න. එම සීලය තව කෙනෙකුගෙන් ලැබිය හැකි දෙයක් නොව, තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන්, තමා තමාවම පිහිටකර ගැනීමෙන් ලබාගත යුත්තක් බව සිහි තබාගන්න.

 

    විනය යනු සුවසේ නිවන් මඟ තරණය කිරීමට ඇති මෙවලමක් මිස, තමන්ගේ දෑත් දෙපා ස්වකැමැත්තෙන් බැඳගන්නා වරපටක් හෝ තමන්ගේ නිදහස මරාගන්නා පෝරකයක් නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක් නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂූටයක් උපයෝගී කරගන්නා සේ, විනය, ඔබ සුව සේ නිවන් මඟ තරණය කිරීමට යොදාගන්න. ගුවන් භටයා තම දෙපා පොළොවේ ස්පර්ශවන සැනින් පැරෂූටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින්, නිවැරදි වෙමින් අතහරින දෙයක් මිස බදාගන්නා දෙයක් නොවේ. වැරදි අතහැරීම පිණිස විනය බදාගැනීම තුළ රැස්වන්නේ තණ්හාවයි. තණ්හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුළ මා ඇතැයිද, මා තුළ විනය ඇතැයිද කියා ග්‍රහණය කර නොගැනීමට අප වගබලාගත යුතුය. 

 

    විනය යනු සතිය සහ සිහියයි. ධර්මය යනු ස්වභාව ධර්මයයි. ධර්මයේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍ය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුළ ජීවත් වීමයි. විනය අත්‍යවශ්‍යය. ඒ නැවත නැවත වැරදි කිරීමට නොවේ. වැරදි කිරීමේ ස්වභාවයෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරදි අතහැරීමටය. විනය වෙනුවෙන්ම කැපවීම ඔබගේ දුර්වලතාවයකි. විනය සමඟ ගැටෙමින් නොසිට ඔබේ දුර්වලකම් සතියෙන් සිහියෙන් යුතුව මඟහරවා ගන්න. විනය ගැන ලියවුණ පොත් සියයක් ඇතොත් ඒ පොත් සියයම එක මත එක තබා, පොත් සියයටම උඩින් 'චේතනාහං භික්ඛවේ කම්මං වදාමී' යන බුදු බණ පදය තබන්න. 

 

    නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම්, ඔබ අදක‍ෂ නම්, මාන්නය උද්ධච්ඡ බව, මාර්ග ඵල උන්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොවුන හොත් ඔබ මංමුළා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධි තක්සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙර සූදානම්, සැලසුම්වලින් හිස්වන්න. කිසිම ආයාසයක් නොකරන්න. ඉර හඳ, මහ පොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්වභාව ධර්මයේම කොටසක් වන්න. ස්වභාව ධර්මයත් ඔබත් අතර පරතරයක් නොතබන්න. බැස යන සඳත්, නැග එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමඟ සසඳන්න.

 

    නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක් වන්න. බුදුගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන්න නිරතුරුවම මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරන වාරයක් පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේ බව අත්දැකීමෙන් දකින්න. නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. නිහතමානීකම යනු හීනමානය නොවේ. භික‍ෂුව යනු මෙලොව සිටින ජවසම්පන්නවම ඉලක්කය හඹා යන පුද්ගලයා විය යුතුය. ඔහුව ඉක්මවීමට සමතෙක් මේ තුන් ලෝකයේවත් නොමැත. මහ වනයේ තනිවම සරන ඇතෙකු සේ ඔබ සොයන නිදහස ඔබ විසින්ම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී ඔබට රාත්‍රිය, දවාල, වැස්ස, සීත, කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කළ නොහැකිය. මෙලොව සිටින ජවසම්පන්නම පුද්ගලයා ලෙස ඔබ කෙලෙස් මාරයාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක‍ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියකුට, බ්‍රහ්මයකුට කළ නොහැක්කකි. ඔවුනට හැකියාව ඇත්තේ ඔබට සාධුකාර දීමටය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගෙන ඔබ මේ ලෝකයෙන් එතෙර වූ මුනිවරයෙක් වන්න. ඔබට එය හැකිවන්නේ 'එක්කෝ මරණය. එක්කෝ නිවීම' යන බරපතලම තීරණය ගැනීමට දක‍ෂ වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.


උපුටාගැණීමකි
මහ රහතුන් වැඩිමඟ ඔස්සේ

Post a Comment

Previous Post Next Post