අතීත බුද්ධශාසන වල බොහෝ පින්කම් සිදුකරගෙන ආ “සන්ධිත” තෙරුන් වහන්සේ මීට කල්ප තිස් එකකට පෙර වැඩ සිටි, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ එක් දුප්පත් ගොපල්ලෙක් ව උපත ලැබී ය.
"සිඛී" බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් ටික කළකට පසු එක්තරා තෙරුන් වහන්සේ නමක් බුදු රජාණන් වහන්සේ ගේ ගුණ ඇතුළත් ධර්ම දේශනාවක් කරමින් සිටියේ ය. එතන සිටි මේ ගොපල්ලාද මේ දේශනාව ශ්‍රවණය කළේ ය.
බුදුගුණ ඇසීමෙන් ඔහුගේ සිත ඉතාමත් ම පහන් තත්ත්වයට පත්විය. ධර්ම දේශනාව අවසන් වූ විට ගොපල්ලා තෙරුන් වහන්සේ ළඟට විත් "ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිදැ" යි ඇසීය.
සිඛී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව තෙරුන් වහන්සේ කීහ. එවිට ගොපල්ලා,
"අනේ ස්වාමිනී, මෙතරම් මහානුභාව සම්පන්න බුදුරජාණන් වහන්සේලා පවා අනිත්‍ය ධර්මයට පත්වෙනවා නේද? අහෝ ස්වාමීනි සංසාරය අනිත්‍යයි නේද?" ලෙස කියමින් අනිත්‍ය සංඥාව උපදවා ගත්තේ ය.
ධර්ම දේශනාව කළ තෙරුන් වහන්සේ මේ ගොපල්ලාව බෝධි පූජා කරන්නට යොමු කළහ. සිඛී බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ වූයේ ඇටඹ බෝ රුකයි. ඉන්පසුව ඔහු විටින් විට ඇටඹ බෝධීන් වහන්සේ සමීපයට ගොස් බුදුගුණ සිහිකරමින් බෝධි වන්දනාව කළේ ය.
ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යය අතරින් පාරිභෝගික චෛත්‍ය වන බෝධිරාජයාණන් වහන්සේට, ජීවමාන බුදුරජාණන් වහන්සේට සිදුකරන ආකාරයෙන් ම බුද්ධ පූජා සිදුකළ මේ ගොපල්ලා, මරණින් පසුව දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබී ය.
ඔහු ජීවිත කාළය පුරා සිදු කරගත් බෝධි පූජා පැවැත්වීමේ පිණෙන්, මරණන් මතු දිව්‍ය ලෝකය හෝ මනුස්ස ලෝකය කියන ගති දෙකෙන් එකක පමණක් උපත ලබමින් සසරෙහි ගසා ගෙන ආවේ ය.
අප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ඔහු කොසොල් රට, ධනවත් පවුලක උපත ලැබී ය. ඒ ධනවත් මව් පියන් මේ දරුවාට “සන්ධිත” යන නම තැබීය.
ඔහු තරුණ වයසට පැමිණි පසු, අතීත හේතු සම්පත් වල මෙහෙයවීම නිසාම, ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට යොමු විය. ඉන් පසුව ටික දිනකින් ම පැවිදි විය. අනිත්‍ය ප්‍රතිසංයුත්ත ධර්ම කථාවන් අසා, දහම් සංවේගය උපදවා ගත්තේ ය. අනිත්‍ය මෙනෙහි කිරීමේ උපකාරයෙන්, නොබෝ දිනකින්ම ඥානය මුහුකුරා ගිය මේ තෙරුන් වහන්සේ ෂට් අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් විය.
එක් දිනක් විවේකීව වැඩ වසමින් සිටින විට, අතීත භවයන් බැලූ "සන්ධිත" මහරහතන් වහන්සේ, සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී තමන් වහන්සේ සිදුකරගත් බෝධි වන්දනාව, බුද්ධ පූජාව, හා අනිත්‍ය සංඥාව වැඩීම දැක, ඒ අතීත හේතු සම්පත් සහ දැන් සුවසේ අභිඥාලාභී මහරහතන්වහන්සේ නමක් වූ ආකාරය අන්‍යයන්ටත් දැන ගැනීමට මෙසේ දේශනා කළහ.
‘‘අස්සත්ථෙ හරිතොභාසෙ - සංවිරූළ්හම්හි පාදපෙ
එකං බුද්ධගතං සඤ්ඤං - අලභිත්ථං පතිස්සතො.
“කොළ පැහැ ඇති මොනොවට වැඩුණු ඇසතු බෝරුක පිහිටි තැන, සිඛී සම්බුදුනට පැනනැගුණු “ඇටඹ” බොරුක මුල, එළඹ සිටි සිහි ඇතිව, එක් බුද්ධානුස්මෘති සංඥාවක් ලදිමි.”
‘‘එකතිංසෙ ඉතො කප්පෙ - යං සඤ්ඤමලභිං තදා
තස්සා සඤ්ඤාය වාහසා - පත්තො මෙ ආසවක්ඛයො’’ති.
“මීට කල්ප තිස් එකකට පෙර එදා මා විසින් බුද්ධානුස්මෘති සංඥාවක් ලැබුවා ද, ඒ සංඥාව හේතු කොට ගෙන මා විසින් ආස්‍රවක්ෂය සඞ්ඛ්‍යාත නිරොධය ලබන ලදී.”
ථේර ගාථා ඇසුරෙන් සකස් කළේ :-
අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුර
Post a Comment