සතුන් ඇති කරමුද නුවණින්

ගිහි පින්වතුන්ලා තිරිසන් සතුන්ට කන්න දෙන්න එපා, ඇති කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. ඒක අපිට කියන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලු කපුටන්ට දෙන්නා වූ දානයේත් ආනිශංස තියෙනවා කියලා. බලු කපුටන්ට දෙන්නා වූ දානයේත් ආනිශංස තියෙනවා කියද්දී අපි ගිහි පින්වතුන්ලාට කියන්න යන්නේ නැහැ ඔබලා සත්තුන්ට කන්න දෙන්න එපා කියලා.

ඒනිසා සත්තු ගෙදරට ගන්න එපා...ඔබේ ඔඩොක්කුවේ හුරතල් කරන හුරතලා බවට පත්කර ගන්න එපා...ගෙදර හුරතලා බවට පත්කර ගන්න එපා...ඔබේ කාරෙකේ ඉන්දෝ ගන්න දරුවා බවට පත්කර ගන්න එපා...

එහෙම කළොත් මොකද වෙන්නේ? දැන් ගෙවල් වල බල්ලො ඉන්නවා. පූසො ඉන්නවා. ඔය මාළු ටැංකි තියෙනවා. මේ බල්ලන් පූසන් නිරතුරුව ම ගේ ඇතුළේ සෙටියෙ තියාගෙන, ඔඩොක්කුවේ තියාගෙන, ඇදේ තියාගෙන හුරතල් කරන මොහොතක් පාසා දරුවෝ ඒ අය ස්වාමියාව තමයි උපාදානය කර ගන්නේ.

එයාට කන්න දෙන්නේ කවුද? බොන්න දෙන්නේ කවුද? එයාව හුරතල් කරන්නේ කවුද? ඒ පුද්ගලයාව තමයි ඒ බල්ලා උපාදානය කර ගන්නේ.

උපාදානය කරගෙන ඒ නිවසේම භූත බල්ලෙක් වෙලා, භූත පූසෙක් වෙලා උපදිනවා. දැන් ගෙදර ඉන්න ස්වාමියා දන්නේ නැහැ තමන්ගේ ගෙදර ඉන්න බල්ලා භූත බල්ලෙක් වෙලා උප්පත්තිය ලැබුවා කියලා. දැන් මේ භූත බල්ලා ගෙදර ඉන්නවා. භූත පූසා ගෙදර ඉන්නවා. ඒගොල්ල කෑම මේසේ තියෙන කෑම ටික ඉව කරනවා. ලෙව කනවා. අපේ ඔඩොක්කුවේ ඉන්නවා. අපේ ඇදේ ඉන්නවා. අපේ සෙටියේ ඉන්නවා. අපේ ගේ ඇතුළේ ඉන්නවා. අපි දන්නේ නැහැ.

ඒකේ භයානක තැන කියන්නේ මේකයි. දැන් මෙහෙම ඉද්දි බල්ලාට ආදරය කරපු නෝනා හරි මහත්තයා හරි ඉන්නවානේ. එයත් කවද හරි මැරෙනවා. මැරෙන්නෙ එයා ධර්මය තුළ ඉදලා නෙමෙයි. ශීලයක් ආරක්ෂා කළෙත් නැහැ. එයා මැරෙන වෙලාවට අර භූත බල්ලා එයා ඉදිරියේ පෙනී සිටිනවා.

මොකද අපි මැරෙන වෙලාවේ අපි ශීලයෙන් පරිපූර්ණ නැත්නම් අපේ මනස දුර්වල වෙනවා. දුර්වල වෙද්දී අර අමනුෂ්‍යයෝ, අමනුෂ්‍ය රූප අපට ඝන කරලා පෙන්වනවා.

එතැනදී අපි අර බල්ලා දැක්ක ගමන් "අනේ මගේ බ්ලැකී, අනේ මගේ බූලා" කියලා උපාදානය කරගෙන අපිත් එතෙන්ට වැටෙනවා. "උපාදාන පච්චයා භවො". ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තිරිසන් සත්තු කිට්ටුවට ගන්න එපා කියලා.

මම එක ඉහළ පෙලේ ගෙදරක ධර්ම දේශනාවකට ගියහම ධර්ම දේශනාව ඉවර උණාට පස්සේ ඒ ගෙදර නෝනා මගේ ළඟින් වාඩිවෙලා මට මෙහෙම කිව්වා. "ස්වාමීන් වහන්ස මට ඔබ වහන්සේගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න ඕනෙ" කියලා. මම හිතුවා ධර්මයට සම්බන්ධ ප්‍රශ්නයක් කියලා.

ඒ ගෙදර හිටියා ලස්සන තරුණ ඇල්ශේෂන් බල්ලෙක්. එයා බොහොම සැපට හැදිච්ච බල්ලෙක්. මේ නෝනා මගෙන් අහනවා "ස්වාමීන් වහන්ස මේ මගේ බල්ලා ඊළඟ ජීවිතයේ මගේ පුතෙක් කර ගන්නේ කොහොමද" කියලා.

එතකොට බලන්න මෙච්චර ධර්මය දන්න නෝනා මෙච්චර බණ අහන නෝනා බල්ලා උපාදානය කරගෙන ඉන්නවා නම් ධර්මය දන්නේ නැති බල්ලා නෝනාව කොච්චර උපාදානය කරගෙන ඇත්ද?

මම ඒ නෝනාට කිව්වා "නෝනා මේ බල්ලා කවදාවත් ඔබේ දරුවෙක් කරගන්න බැහැ" කියලා.

එයා තිරිසන් ලෝකේ ඉන්නේ. එයා ධර්මයක් හදුනන්නේ නැහැ. ඒ බල්ලා ඔබේ දරුවා කරගන්න බැහැ. නමුත් ඔබ ඔය චේතනාව, ඔබ ඔය බලාපොරොත්තුව අත් හැරියේ නැත්නම් ඔබ ඊළඟ ජීවිතයේ බැල්ලියකගේ කුසේ බලු පැටියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඒක තමයි බුදුදහම.

"උපාදාන පච්චයා භවො" කියන ධර්මතාවය තුළ අපිව එවැනි භයානක උපත් කෙරෙහි කොටු කරනවා.

දැන් බලන්න මාළු ටැංකියක් නැති ගෙදරක් නෑ. හැම ගෙදරම මාළු ටැංකියක් තියෙනවා. සමහර ඒවා ලක්ෂ ගණන් වටිනා මාළු ටැංකි. එක මාළුවෙක් ලක්ෂ ගණනක් වෙනවා. එතකොට දැන් මේ මාළු ටැංකිය ලක්ෂ ගණනක් වියදම් කරලා ගෙනල්ලා වයෝවෘද්ධ අම්මලා තාත්තලා මොකද කරන්නේ. පුටුවක් තියාගෙන වාඩිවෙලා මාළු ටැංකිය දිහා බලාගෙන මාළුන්ගේ හැසිරීම දිහා බලාගෙන ඉන්නවා. විවේකයේදී ඒක තමයි බලන්නේ.

අපේ දොස්තර මහත්තරුත් මොකද කියන්නේ? "අධික රුධිර පීඩනය නැත්නම් මානසික ආතතියට මේක බල බල ඉන්න" කියලා තමයි දොස්තර මහත්තුරුන් නොදන්නා කමට කියන්නේ. දැන් මෙහෙම බල බලා ඉද්දි මේ මහත්තයා මේ මාළුන්ව උපාදානය කරගෙන, මාළුන්ගේ ඉරියව් උපාදානය කරගෙන, මාළුන්ගේ කාමයේ හැසිරීම් උපාදානය කරගෙන එකපාරටම මැරෙනවා. මැරෙන වෙලාවේ මාළු උපාදානයට අදාළව ගිහිල්ලා ඒ ටැංකියටම බහිනවා.

මට මතකයි මාව හම්බවෙන්න කුටියකට ආපු එක මහත්තයෙක්. එයාගේ අම්මලා තාත්තලා එක්කගෙන ආවේ. නමුත් ඒ මහත්තයාට අවශ්‍යයි හවසට කතරගමට යන්න. නමුත් තාත්තා කැමති නැහැ කතරගමට යන්න. මම කීවා " ඇයි මෙතෙන්ට ආව එකේ කතරගමට ගිහින් කිරිවෙහෙර වන්දනා කරලා යන්න" කියලා. එතකොට ඒ තාත්තා කියනවා "බෑ.බෑ. මාළු ටික බඩගින්නේ. මට අනිවාර්යයෙන් ම මාළුන්ව කන්න දෙන්න යන්න ඕනේ" කියලා.

එතකොට බලන්න කොච්චර මාළු ටැංකිය උපාදානය කරගෙනද? මේ මහත්තයා හදිසියේ පපුවේ අමාරුවක් හැදිලා මහ පාරෙදී වාහනේදි මැරුණොත් උපාදානය වෙන්නේ ගෙදර ඉන්න මාළුවෝ. මාළු උපාදානය වෙද්දී මොකද වෙන්නේ. ශීලයෙනුත් පරිපූර්ණ නැත්නම්, ශ්‍රද්ධාවෙනුත් දුර්වල නම් මාළු ටැංකියේම මාළු බිත්තරයක මාළු පැටියෙක් වෙලා ඉපදෙනවා.

ඔන්න දැන් මහත්තයාගේ හත් දවසේ දානය. හත් දවසෙ දානයේදී ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්මලා බණ කියලා පින් දෙනවා. පහුවදාට ස්වාමීන් වහන්සේලාට දන් දීලා පින් දෙනවා. මහත්තයා කොහේද? මාළු ටැංකියේ. මහත්තයා මාළු ටැංකියේ.

ඉතින් ඔය වගේ දරුවෝ මේ "තෘෂ්ණා පච්චයා උපාදානං" " උපාදාන පච්චයා භවො" කියන ධර්මතාවය බලවත් වූ අනතුරු වලට අපිව අරගෙන යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තිරිසන් සත්ත්ව සංක්ඥාවට යන්න එපා කියලා. 

නමුත් ගිහි පින්වතුන්ලා තිරිසන් සතුන් ඇති කරන්න. කන්න දෙන්න. බොන්න දෙන්න. අසනීප වුණොත් බෙහෙත් දෙන්න. නමුත් ඔඩොක්කුවේ සුරතලා බවට එහෙම නැත්නම් ගෙදර සුරතලා බවට, එහෙම නැත්නම් ඇදේ සුරතලා බවට පත්කර ගන්න එපා. එයාට එළියේ කූඩුවක් හදලා කන්න දීලා ඒක කරන්න.

මොකද බලු කපුටන්ට දෙන දානයේත් ආනිශංස තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

(සිරස FM පන්සිල් මළුව ධර්ම සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී).

Post a Comment

Previous Post Next Post