යම් කර්මයක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු වේද ,යම් කර්මයක විපාක කඳුළුවැකි මුහුණින් හඩ හඩා විත් විදින්නට සිදුවිය ද ඒ කර්මය නො කිරීම මැනවි.

ගාථාව-

න තං කම්මං කතං සාදූ -යං කත්වා අනුතප්පති
යස්ස අස්සමුඛෝ රෝදං- විපාකං පටිසේවති 
 
අදහස-
 
යම් කර්මයක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු වේද ,යම් කර්මයක විපාක කඳුළුවැකි මුහුණින් හඩ හඩා විත් විදින්නට සිදුවිය ද ඒ කර්මය නො කිරීම මැනවි.
 
නිධාන කතාව -
 
    සැවැත් නුවර එක්තරා ගොවියෙක් කුඹුරු ගොවිතැනින් දිවි ගෙවයි. එක් කන්නයක වැඩ අරඹා ගොවියා සීසාන ට වන්නේය. රාත්රී ගෙවල් බිදි සොර මුලක් රන් මසු බෙදාගෙන යන්නේ එක් සොරකු වෙතින් මස් පියල්ලක් ගොවියාගේ කුඹුරෙහි පතිත වූයේය 
.
    ඒ බව සොරා නොදත්තේය. අලුයම ලොව බලනා බුදුහු මසු පියල්ල නිසා ගොවියා අමාරුවේ වැටෙන අයුරුත් තමන් වහන්සේ නිසා සෝවාන් වන අයුරු දැක එහි වැඩියහ.මසු පියල්ල වැටුණ තැනින් වඩින්නේ ,"ආනන්ද, විෂකුරු දුටුවාදැ"යි දැයි විචාළහ." එසේය ස්වාමීනි," තෙරණුවෝ පිළිවදන් දුන්හ.
 
    ගොවියාට එතැනට පැමිණ බැලූ කල සර්පයකු නොව මසු පියල්ල දැක එය වළලා තබා සාන්නට පටන් ගත්තේය. රාජ්ය නිලධාරීහු ගෙබිදි සොරුන්ගේ පා සටහන් අනුව හඹායන්නේ ගොවියා සී සාන කුඹුර වෙත එළඹියහ. මසු පියල්ල සමඟ ගොවියා අත්අඩංගුවට ගත්හ.බලධරයන් නොයෙක් වධ හිංසා පමණ වන කළ "ආනන්ද ,විසකුරු සර්පයා දුටුවේදැ"යි කිහිප වරක් ඔහුගේ මුවින් නිකුත් විය. එසේ පැවසීමෙන් අර්ථය කුමක්දැයි විමසූ කල බුදුරදුන් හා ආනන්ද හිමියන් අතර වූ සංවාදය පැහැදිලි කළේය.එයින් ඔහු නිදහස ලැබීය. ඒ නිමිතිකොට බුදුහු " සිහි කළ පමණින් පසුතැවිලි වීමට හේතුවන කඳුළෙන් තෙත් වූ මුහුණු ඇති වූ විපාක විඳීමට සිදුවන නරක දේ නොකිරීම මැනවැ" යි දේශනා කොට ගොවියා සෝවාන් ඵලයෙහි පිහිටි සේක. 
 
    කළ අයහපත් කටයුතු සිතා පසුතැවීම 'අනුතප්පති' යන්නෙන් පැවසේ .පශ්චාත්තාපය පුද්ගලයකුගේ සැපය නැති කොට ශරීරයෙහි නොයෙක් වේදනා ඇතිකරවයි. සිතා බලා යමක් කළ යුතුය. සිතා බලා පිරික්සා කටයුතු කරන්නා පසුතැවිල්ල ගෙන දෙන වැඩෙන් වැළකෙයි. මෙලොවදී කරන ලබන අකුසල කර්මවල විපාක මෙලොවදී ම පළනොදුන්නත් බොහෝ සෙයින් පරලොව ලැබීම නිසැකය. ධර්මානුකූලව පව ගැන සිතන කළ පසුතැවිල්ල ඇතිවේ. ශෝකය හටගනියි. කදුලින් වැකුණු මුහුණු ඇතිව හැඩීම 'අස්සමුඛෝරෝදං'යන්නෙන් පැවසේ.
 
    පව් කළ පුද්ගලයා අපාගත වූ කළ කදුලින් තෙමී ගිය මුහුණින් යුතුව හඬා වැලපෙයි. නිමක් නැති දුක් විඳීයි. එබැවින් කඳුළු ලකුණ මුහුණෙන් යුතුව විපාක විදවන කර්ම නොකළ යුතුය.

Post a Comment

Previous Post Next Post