විමාන වත්ථු කථා 27 - දෙවියකු වූ ගව පාලකයා

 

රජගහ නුවර දිළිඳු ගවපාලකයෙක් සිටියේය. ඔහු සුණු සහලින් රොටියක් හදා ගත්තේය. කිළිටි රෙදිකඩක ඔතා ගත්තේය. ගව රංචුව රැගෙන උන්ට තණ සොයා නුවරින් පිටවිය. නුදුරු ගමකට ඇතුළු වූයේ ය.

මුගලන් මහ රහතන් වහන්සේ මේ ගව පාලකයා දිවැසින් දුටු සේක. එදින ඔහු මිය යයි. අපාගත වන්නේය. මේ අහිංසකයා ඉන් ගළවා ගැනීමට සිතිණි. ඔහු අබිමුවට වැඩියහ.

ඒ වන විට ගවපාලකයා සිටියේ උඳු කෙතක් මැද මාවතකය. මුගලන් මහ රහතන් වහන්සේ දුටු ඔහු ප්‍රීතියට පත්විය. පූජා කිරීමට ඔහුට තුබුණේ රොටිය පමණෙකි. එය පිදීමට සිතිණි.

එහෙත් ඊට මොහොතක් පමා වූවොත් ගවයෝ උඳු කෙතට බසිති. උඳු පැල කති. එවිට කෙත් හිමියෝ කෝපවෙති. දඬුවම් කරති.

ඔහු කල්පනා කරන්න විය. කමක් නැ වෙන දෙයක් වුණාවේ මහි රහතන් වහන්සේට රොටිය පුදමියි. ගවපාලකයා තීරණය කෙළේ ය.

ඔහු මුගලන් මහ රහතන් වහන්සේ ළඟට ගියේ ය. දෙපා වැන්දේය. රොටිය පූජා කෙළේ ය. උන්වහන්සේ සතුන් එය පිළිගත්හ. එතැනදී ම වැළඳූහ. ගුව පාලකයා අසුමාණ ප්‍රීතියට පත්වී ය. ඒ පමාවෙන් ගවයෝ උහු කෙතට බැස්සෝය. උඳු පැල කන්න පටන් ගත්තෝය.

මුගලන් මහ රහතන් වහන්සේ දානානුමෝදනාවක් කළහ, පිටත්වුහ, ගවපාලකයා අසීමිත සතුටට පත්වීය. ගවයන් කොහේදැයි බැලීය. උන් උඳු කෙතේ ය. ඔහු බිය විය. කෙත දෙසට දිව ගියේ ය. කෙත ඉවුරේ උන් නාගයෙක් පැගිණි, ඌ ඔහුට දෂ්ට කෙළේ ය. ඒ විෂ දරුණු ය සැණින් සිරුර පුරා ගියේ ය. ඉන් ගවපාලකයා මිය ගියේ ය.

ඔහුට දානමය කුසල පලදිණි, තව්තිසාවේ ඉපදිණි. ඒ දොළොස් යොදුනක රන් විමනක් මැදය. සියලු දිව්‍ය සම්පත් පහළ විය. පරිවාර දෙවගනෝ ද සිටියහ. විනෝදයෙන් කාලය ගත කෙළේ ය.

දේව චාරිකාවේ යෙදුණු මුගලන් මහ රහතන් වහන්සේට මේ දෙවියා හමුවිය. ඔහු උන්වහන්සේ දැක සතුටට පත්විය. දෙපා නමස්කාර කෙළේය. රහතන් වහන්සේ ඔහුගෙන් මෙසේ ඇසූහ.

පබා දිව්‍ය පුත්‍රය. ඔබ අන් අයට වඩා සුවිශේෂ ය. දීප්තිමත් ය. අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරැසී සිටියි. දෙවගතෝ ඔබ වටා සිටිති. ගී ගයති. නටති. ඔබ ප්‍රබෝධවත් කරති. මෙපමණ ඉසුරු ලබන්න ඔබ පෙර කළ කුසල් කවරේ ද?

ස්වාමීනී, යටගිය දවස මනුලොවේදී ඔබ වහන්සේට රොටියක් පූජා කිරීම පමණෙකි.

හොඳයි, මේ අයටත් දැනගන්න එය විස්තර කරන්න.

දේවතාව අතීත කථාව කීවේය.

රහතන් වහන්සේ සතුටට පත් වූහ.

ස්වාමීනි! කරුණාකර මට ධර්ම දේශනාවක් ද කරන සේක්වා දෙවියා ඉල්ලා සිටියේය.

මුගලන් මහ රහතන් වහන්සේ ඔහුගේ ඉල්ලීම ඉටු කළ සේක. යළිත් චාරිකාවේ යෙදුණු සේක.

 - උපුටාගැනීමකි -

Post a Comment

Previous Post Next Post